සියනෑ විදු මෑණිගේ පනස් වසරක පිය සටහන් ....
අදින් අඩ සිය වසකට පෙර ක්‍රි.ව. 1944 දී බස්නාහිර පළාතේ , සියනෑ කෝරළයේ ,ගඟබඩපත්තුවේ දොම්පේ පාලුගම ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේදී දානපති ජෝර්ජ් විමලසේන මහතාගේ මූලිකත්වයෙන් පෞද්ගලික ඉංග්‍රීසි පන්තියක් ඇරඹුණි. නොබෝ දිනකින් විහාරස්ථානයට යාබද ඉඩමක ගෙනගිය එකී පන්තියෙහි කාලීන අවශ්‍යතාවය,ප්‍රදේශ වාසින් විසින් නොපමාව අවබෝධ කරගන්නා ලද බව පෙනේ.
ඉක්බිතිව පාලුගම ගල්ගොඩ ගෙදර විසූ සුපින්වත් ඇස්.පී.සූරියප්පෙරුම මහත්මා ප්‍රමුඛ සොහොයුරන් විසින් පරිත්‍යාග කරන ලදුව 1945 සැප්තැම්බර් මස 07 දා සිට වර්තමාන විද්‍යාලිය භූමියට අප විද්‍යායආයතනය ගෙන ගොස් ඇත. එහිදී '' නිදහස් අධ්‍යපනයේ පියා '' නමින් විරුදාවලිය ලත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මැතිතුමා සිසුන් දසදෙනෙකුට අත් පොත් තබා විදුහලට ආසිරි පැතූ බව සදහන් වේ. 1946 අගෝස්තු මස 03 වෙනිදා මෙම විද්‍යායතනය රජයට පවරාගෙන ඇත.එවකට රජයේ සියනෑ ඉංග්‍රීසි පාඨමාලාවල නමින් හැඳින්වූ අප විදුහලේ සේවය කළ ප්‍රථම ඇඳුරු මඩුල්ලෙහි ජෝර්ජ් විමලසේන මහත්මාට අමතර ව පාළුගම අයි.එන් සූරියප් පෙරුම, දේගවත්තේ ඩී.ටී අමරසේකර ගනේගොඩ, ජී.පී.සූරියප්පෙරුම යන මහත්වරුන් හා පාලුගම ඩී.එස් සමරසේකර මහත්මියද වූහ.
රජයට පවරාගත් සියනෑ විදුහලේ පළමු විදුහල්පතිවරයා වශයෙන් වාද්දවේ එම්. ඩී. එස්. ගුණතිලක මහත්මාගේ නාමය ගෞරවාන්විතව ඉතිහාසයට එක් වි ඇත. 1947 වර්ෂයේදී උක්ත පාසල් භූමියේ පැවති තාවකාලික ගොඩනැගිල්ල වෙනුවට ඉදිකළ ප්‍රථම අර්ධ ස්ථිර ගොඩනැගිල්ල, එවකට අත්තනගල්ල ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ව සිටි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක හා එකල ගරු අධ්‍යාපන ඇමති ඊ. ඒ නුගවෙල යන මැතිතුමන්ලා අතින් විවෘත කොට ඇත. පාලුගම, බෝගොඩවත්ත, ගුරුවල. වානලුවාව. කොරාඹේ, ගිරිදර ආදී අවට ප්‍රදේශවාසී ප්‍රභුන් රැසකගේම දායකත්වය, පාසල් සංවර්ධන කටයුතු වලට ලැබුණු බව ද සඳහන් වේ.
අපේ මව් බිම නිදහස ලැබූ 1948 පෙබරවාරි මස 4 වෙනිදා එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, නිදහස් දින උත්සවයක් අප විදුහලෙහි පැවැත්වීම වැදගත් ඓතිහාසික සිද්ධියක් සේ සැළකේ. එවකට ප්‍රමුඛ පෙළේ පාසල්වල ජනප්‍රියව පැවති " බොක්සිං" ක්‍රීඩාව සියනෑ විදුහලේද ඇරඹීමෙන් පසුව, 1949 දී බස්නාහිර පළාතේ " බොක්සිං "ශූරතාවය හිමිවී ඇත්තේ සියනෑ විදුහලටයි.
1956 න් පසුව උදාවන යුගයේදී අප විදුහලට නව ජීවයක් ලැබී ඇති බව පෙනේ. අවට ප්‍රදේශ වලින් මෙහි ඇදි ආ ශාස්ත්‍රාභිලාෂින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වන්නට විය. එහිදී භෞතික හා ඇදුරු සම්පත් ප්‍රමාණවත් නොවූයෙන්, එවකට ගරු අග්‍රාමාත්‍යව සිටි එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා විසින් විදුහලට ගුරු නිවාසයක් සහිතව ගොඩනැගිලි කිහිපයක් ලබා දී ඇත. මුල පටන් අධ්‍යාපන මාධ්‍යය ඉංග්‍රීසි වුවද 1956 න් පසුව සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීමට පටන්ගෙන ඇත. 1957 දි මහ විදුහලක් බවට උසස් වූ අප විදුහල කලා, විද්‍යා සහ වාණිජ යන සියළු අධ්‍යාපන අංශයන්ගෙන් යුක්තව බැබළුණු බව පෙනේ. ඒ අනුව අප විද්‍යාගාරය හා කර්මාන්ත ශාලා ඒකකය 1958 පෙබරවාරි මස 14 ද විවෘත කොට ඇත්තේ එවකට ගරු අග්‍රාමාත්‍යව සිටි එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ ගරු සභානායක සහ අධ්‍යාපන ඇමතිව සිටි විජයානන්ද දහනායක යන මැතිතුමන්ලා අතිනි. එකී විද්‍යාගාරය ශ්‍රී ලංකාවට සැලසුම්කර හඳුන්වා දෙන ලද එම වර්ගයේ ප්‍රථම නිර්මාණය බැව් ද සඳහන් වේ.
1972 දී නව ක්‍රීඩාංගනයද, 1976 දී ප්‍රධාන රැස්වීම් ශාලාවද ඉදිවිය. 1977 දී දෙමාපිය සහය ඇතිව වාණිජ විද්‍යාගාර ගොඩනැගිල්ලක් තනවා ඇති අතර 1978 දී ගරු දොම්පේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වන්ද්‍ර රාජකරුණා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, විදුහලේ දෙමහල් ගොඩනැගිල්ල ඉදිකර ඇති බවද සඳහ වේ. ක්‍රීඩා හා විෂය බාහිර කටයුතු කෙරෙහි දැඩි උද්යෝගයකින් පසුවෙද්දී, 1981 දී " කාන්තා ශිෂ්‍ය භට ඒකකයක් " පිහිටුවාලීමෙන් අප සිසු දැරියන්ගේ ක්‍රියාශීලීභාවය වඩාත් ඔපවත් විය. පසු කලෙක එය "කාන්තා ශිෂ්‍ය පොලිස් භට ඒකකය " බවට පරිවර්තනය විය
බෞද්ධ සිසු-සිසුවියන් සිටින සියනෑ මහ විදුහලට බුදු මැදුරක අවශ්‍යතාවය වටහා ගත් අසල් වැසි ප්‍රභුවරයින් දෙපලක්වු රණතුංග පෙරේරා සහ වී. මු. ජයවර්ධන යන මහත්වරුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් 1983 දී දර්ශණීය බුදු මැදුර හා පිළිම වහන්සේ තනවා නිම කොට දීම ප්‍රශංසනීය සිදුවීමකි.
1984 දී ඇරඹුණු විද්‍යාලයීය " තරුණ සිතිවිලි සමාජය ' මගින් සිසුන් තුළ අධ්‍යාත්මික වශයෙන් නව ජීවයක් ඇති වන්නට විය. ඉන් විෂය සමගාමී ක්‍රියාකාරකම් ගණනාවකටම මඟ සැළසුනු අතර, ශිෂ්‍ය සුබ සාධනය හා මාර්ගෝපදේශ සේවාවටද, මහත් රුකුලක් ලැබුණි. ඒ අතර 1985 සැප්තැම්බර් 16 දා වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන්, දිවයිනේ ප්‍රථම පාසල් වන ගොමුව හා පැළ තවාන අප විදුහල් බිමෙහි ආරම්භ වීමද, 1986 ජූනි මාසයේදී " සාර්ථක ජීවිතය '' නමින් අධ්‍යාත්මික, විද්‍යාත්මක තා ශාස්ත්‍රීය ප්‍රදර්ශනයක් පැවැත්වීමද, 1986 සැප්තැම්බර් මස 16 වන දා සංවත්සර මහෝත්සවයක් පැවැත්වීම ද විශේෂයෙන් මතු වී පෙනේ.
ඉහත සඳහන් විෂය බාහිර වැඩ කටයුතු වලදී අප විදුහලටත්, සිසු පරපුරටත් ආදර්ශමත්ව හා පරහිතකාමීව උපකාර කළ සමස්ථ ලංකා තරුණ සිතිවිලි සමාජයේ ගරු සම ලේකම්. වී. මු. රත්නායක මහත්මාණන් කෘතවේදීව සිහිපත් කළ යුතුය.
1986 නොවැම්බර් 30 දා සිට 1986 දෙසැම්බර් 06 දක්වා, 131 වෙනි මහපොල සැණකෙළිය හා ප්‍රදර්ශනය පවත්වා ඇත්තේ අප විදුහල් බිමෙහිය. ප්‍රදේශවාසි සිදු දරු දැරියන්ගේ දන්ත සෞඛ්‍යය නංවාලීමට මහෝපකාරී වූ විද්‍යාලයීය දන්ත ශල්‍යාගාරය හා සැමට ඥානාලෝකය ලබා ගැනීමට අත්‍යාවශ්‍යව පැවති විද්‍යාලයිය පුස්තකාලය, තනවා විවෘත කිරීම ද මහපොළ උත්සවය සමයෙහිදීම සිදු විය.
1987 පෙබරවාරි 28 දා සියනෑ විදුහලේ දී ඇරඹු " අධ්‍යාත්මික ශිෂ්‍ය වැඩමුළු වලින් '' ලත් අධ්‍යාපන පර්යේෂනාත්මක ප්‍රතිඵල " දහම් සතිය " සංකල්පය රජයට ඉදිරිපත් කිරීමට තරම් සාර්ථක විය. 1987 සැප්තැම්බර් මාසයේදී පර්ෂද මූලස්ථයක් බවට උසස් වීමෙන් පසුව, සියනෑ මහ විදුහලේ අධ්‍යාපනික සේවාවන් වඩ වඩාත් පැතිරී යන්නට විය. එහිදී පරිවාර විදුහල් නවයකට මග පෙන්වමින් අප පාසැල් මාතාව සීඝ්‍රවත් ඉදිරි ගමනක යෙදුනාය. එම අවධිය තුළදී වත්මන් විදුහල්පති ජේ. ඇම්. ජයසේකර මහත්මාගේ පැමිණීම සිදු විය.
එතැන් පටන් විදුහලේ සියලුම ක්ෂෙත්‍රයන්හි මනා පිබිදීමක් ඇති වන්නට විය. ඒ අතර 1992 දී පැවැත් වූ සියනෑ පර්ෂදයේ ජංගම වැඩ සටහන තුලින්, ප්‍රථම පාසල් අධ්‍යාපන කෞතුකාගාරය ආරම්භ කිරීමෙන්, තවත් නව සංකල්පයක් හඳුන්වා දීමට අප විදුහල සමත් විය. ජාතික ශිෂ්‍ය කාන්තා භට ඒකකයේ පුනර්ජීවනය, බාලදක්ෂ ව්‍යාපාරය, ක්‍රීඩා අංශයන්හි සංවර්ධනය. ශිෂ්‍ය නායකත්වය පිළිබඳ වැඩමුළු, ක්‍රීඩා කඳවුරු පැවැත්වීම ආදි විෂය සමගාමී කටයුතු රැසක නව නැම්මක් උදා වි ශිෂ්‍ය සංඛ්‍යාවේ හා ආචාර්ය මණ්ඩලයේ වැඩි වීම අනුව අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයක් ඇති වූ බව සමීක්ෂණ තොරතුරු වලින් හෙළිවී ඇත. නුදුරු අනාගතයේ දීම ළමුන් සංඛ්‍යාව හා සමාන්තර පන්ති සංඛ්‍යාව වැඩි දියුණු කිරීම තුළින්, අප විදුහල මධ්‍ය මහා විද්‍යාලයක තත්වයටත්, ඉන් අනතුරුව ජාතික පාසලක තත්වයටත් උසස් කර ගැනීම සඳහා,එවකට විදුහල්පති ධූරය දැරූ ජේ.එම්. ජයසේකර මැතිතුමාගේ මාර්ගෝපදේශතත්වය යටතේ විදුහලේ ඇදුරු මඩුල්ල ගන්නා උත්සාහය අගය කළ යුතුය. මේ සඳහා විද්‍යාලයේ සුබ පතන්නන් හා දෙගුරුන්ගේ සහාය ද, නොමසුරුව ලැබීම සතුටට හේතුවකි.
මෙපරිද්දෙන් උතුම් වූ අධ්‍යාපන සංකල්ප හා සද්භාවනීය ක්‍රියා පිළිවෙත් ඔස්සේ, අප විදු මෑණියන් තව දුරටත් කීර්තිමත් නව පිබිදීමක් ලබනු ඇත.






